ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වන එකල අති දුෂ්කර ගම්මානයක් වූ යටලමත්ත ග්‍රාමයේ පිහිටි මෙම විද්‍යාලයේ ආරම්භය සියවසකටත් වඩා වැඩි ඈත අතීතයක් කරා ඇදී යයි.
ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ ආගමික හා අධ්‍යාපනික පුනරුදයක් ඇතිව තිබූ අවධියක් වූ 1886 වර්ෂය මෙම පාසලේ ආරම්භක වර්ෂය ලෙස ද සඳහන්ව ඇත.
කේ. නානායක්කාර මහතා ආරම්භක විදුහල්පතිවරයා ලෙස සඳහන් වන අතර, විද්‍යාලය මුලදී ආරම්භ කර ඇත්තේ බාලක හා බාලිකා සදහා වෙන් වෙන් වශයෙනි. අද මෙම පාසලේ ප්‍රාථමික අංශය පවතින ස්ථානය බාලිකා පාසල ලෙසද වර්තමාන ප්‍රධාන ක්‍රීඩා පිටිය ස්ථානයේ බාලක පාසල් ගොඩනැගිල්ලද පවත්වා ගෙන ගොස් ඇත. බාලිකාවන් සදහා 9 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ අතර බාලකයින් 5 ශ්‍රේණිය සමත් වූ විට නාගොඩ , වඳුරඹ වැනි ප්‍රදේශවල පිහිටි පාසල්වලට යොමු කර ඇත. බාලිකා පාසලේ විදුහල්පති ධූරය දරා ඇත්තේ ප්‍රසිද්ධ ලේඛකයෙකු වන ගුණදාස අමරසේකර මහතාගේ මෑණියන් වන ඇග්නස් අමරසේකර (වේරගොඩ ස්කෝලෙ හාමිනේ ) මහත්මියයි. 1950 දශකය මුලදී ලංකාව පුරා මිශ්‍ර පාසල් ක්‍රමය ඇති කිරීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම විද්‍යාලය 1952 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසලක් බවට පත් කර ඇත. එහි විදුහල්පති ධූරය සදහා එස්.එස්. ධර්මදාස මහතා පත් කර ඇත.
අද ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටුවා ඇති ස්ථානයේ පාසල් ශාලාවද, ගුරු නිවාසය ද විය. එම භූමියේ කෘෂි කාර්මික කටයුතු ඉතා දියුණු ලෙස පවත්වා ගෙන ගොස් ඇත. ක්‍රීඩා පිටියට පහළින් ඇති කුඹුර සහ බෙම්බඩ ප්‍රදේශයෙන් ලබා ගත් කුඹුරක් සිසුන් විසින් වගා කර ඇත. එස්.එස්. ධර්මදාස මහතා විදුහල්පති ධුරය දරණ සමයේ ගමේ පිහිටි සුළු කර්මාන්තකරුවන් පාසලට ගෙන්වා ළමුන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීමට කටයුතු කර ඇත. බට කූඩ විවීම, ලණු පැදුරු, ඉදල් කොහු සෑදීම, වඩු කර්මාන්තය ආදී ශිල්පීය දක්ෂතා සිසුන් තුළ ඔප් නැංවීමට කටයුතු කර ඇත. ධර්මදාස මහතාගේ උත්සාහය නිසා ම 1955 දී පාසලේ උසස් පෙළ පංති ආරම්භ කර ඇති අතර , එවකට සාමාන්‍ය පෙළ පංතිය සිසුන් 64 දෙනෙකුගෙන් සමන්විත වී ඇත. වඩා හොඳ අධ්‍යාපන මට්ටමක් පැවතීම හේතුවෙන් නාගොඩ සහ වඳුරඹ වැනි ප්‍රදේශවල පිහිටි පාසල්වලට යොමු කර තිබූ සිසු දරුවන් නැවත මෙම පාසලට ඇතුළත් කිරිමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. එහෙත් යටලමත්ත ග්‍රාමයේ විසූ ඇතැම් ප්‍රභූන් පවුල් පාසලේ උසස් පෙළ පන්ති පැවැත්වීමට විරුද්ධත්වයක් දැක්වූ අතර, උපක්‍රමිකව එවකට විදුහල්පතිධුරය දැරූ එස්.එස්. ධර්මදාස මහතා පාසලින් ඉවත් කරන ලද අතර , අනතුරුව උසස් පෙළ පන්තියද නවතා දමා ඇත.
1976 වර්ෂයේදී මෙම පාසල මහා විද්‍යාලයක් බවට පත්කරන ලදී. 1977 වර්ෂයේ දී නැවත වරක් පාසලේ උසස් පෙළ පන්ති ආරම්භ කරන ලද අතර, එම අවධියේ එම්.කේ.ආර්. නානායක්කාර මහතා මෙම පාසලේ විදුහල්පති ධුරය දරණ ලදී. එතැන් සිට මේ දක්වා මෙම පාසල 1 – C කාණ්ඩයට අයත් පාසලක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. මේ තත්ත්වය තවත් වර්ධනය කර ගැනීම තුළින් හා ගුණාත්මක බවින් පිරිපුන් හොද අධ්‍යාපනයක් ලබා දෙමින් ප්‍රදේශයේ ජනප්‍රිය විදුහලක් නිර්මාණය කිරීමේලා ගොඩනැගිලි පහසුකම් දීමට මනා පරිත්‍යාගයෙන් බුදු මැදුර ඉදි කිරීම හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර දීමට එස්.ඩී සමරසේකර මහතා දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමි. 2016 උසස් පෙළ විභාගයෙන් ළමුන් තිදෙනෙකු ඉදිරිපත් වී A සාමාර්ථ සහිතව සමත් වූ අතර, 100% ප්‍රතිඵල ලබා ගෙන ඇත. 2017 වර්ෂයට උසස් පෙළ සදහා ළමුන් 11 දෙනෙක් ඇතුළත්ව ඇත.
ඉන් පසු විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු විසින් පාසල් පරිපාලනය සිදු කරන ලදී. ඩබ්. විජේවික්‍රම සෙනෙවිරත්න විදුහල්පතිවරයා යටතේ දෙමහල් ගොඩනැගිල්ල ඉදි කරන ලද අතර ද්විතීයික අංශයේ බුදු මැදුරද ඉදි කරන ලදී. නැටුම් , සංගීත තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගෙන ඇත.
ඉන් අනතුරුව පී.ඩබ්. ලාලනී ශ්‍රියාලතා විදුහල්පතිතුමිය යටතේ විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩපය හා ප්‍රාථමික අංශයේ බුදු මැදුර ඉදි කිරීම් කටයුතු සිදු කෙරුණි.
2016 වර්ෂයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් දෙමාපියන්ගේ සහයෝගයෙන් හා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගයෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී. ද්විතික අංශයේ අබලන් වූ ටකරන් ශාලාව සීට් යොදා නැවත ප්‍රතිසංස්කරණය කරන ලද්දේ එස්.ඩි.අමරසේකර මහතාගේ අනුග්‍රහයෙනි.
|
ආරම්භ කළ වර්ෂය |
1886 |
|
ආරම්භක විදුහල්පති |
කේ. නානායක්කාර මහතා |
|
පාසලට මුලින් පැවතුනේ |
බාලක හා බාලිකා සදහා වෙන් වෙන්ව |
|
බාලිකා සඳහා ඉහළම ශ්‍රේණිය |
9 ශ්‍රේණිය |
|
බාලක සඳහා ඉහළම ශ්‍රේණිය |
5 ශ්‍රේණිය |
|
ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසලක් බවට පත් වූ වර්ෂය |
1952 |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
2 |
|
පාසලේ නම |
ගා/යටලමත්ත සමරසේකර විද්‍යාලය |
|
මිශ්‍ර පාසලක් වූ විට ප්‍රථම විදුහල්පති |
එස්.එස්. ධර්මදාස |
|
උ.පෙළ ශ්‍රේණි ආරම්භ වූ වර්ෂය |
1955 |
|
මහා විද්‍යාලයක් බවට පත් වූ වර්ෂය |
1976 |
